මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ
සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කලුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කළ බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා…
රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන් හට දුලභ නොවෙයි. නමුත් යම් ස්ත්‍රියක් හට ‘බුද්ධ මාතා’ වන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභයි. එම දුර්ලභ වාසනාව හිමිවන්නේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට ය. ගෞතම බුදුරදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය යි.
සිදුහත් කුමරා තම කුසින් නොවැදුවද ඇය එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. බුද්ධ මාතාවක් වීමේ වාසනාව ලද ඇයම බුදුරදුන්ගේ ළවෙහි උපන් උතුම් ශ්‍රාවක දියණියක් වීම කෙතරම් නම් ආශ්චර්යයක් ද?
දඹදිව දෙව්දහ නුවර ‘අඤ්ජන’ මහරජුට දාව ‘සුළක්ඛණා’ රජබිසව කුසින් උපත ලද මහා ප්‍රජාපතී ගෞතමිය රූප සම්පත්තියෙන් මෙන්ම ගුණ නැණ බලයෙන්ද බැබලුණි. මහාමායා කුමරිය ඇයගේ දෙටු සොහොයුරිය යි. දණ්ඩපානී හා සුප්පබුද්ධ යනු ඇයගේ සොහොයුරන් දෙදෙනා ය. වැඩිවියට පත් මහාමායා කුමරියත්, මහා ප්‍රජාපති ගෝතමියත් කිඹුල්වත්පුර සුදොවුන් නිරිඳුන්ගේ බිසොවුන් බවට පත්විය.
සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කළුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කොට බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ මහරහතන් වහන්සේ විසිදහසක් පිරිවරා කිඹුල්වත් පුරයට වැඩමකොට යමා මහ පෙළහර පාමින් දහම් දෙසූ අවස්ථාවේ ප්‍රජාපතී ගෝතමිය අතිශයින්ම සතුටට පත්වූවාය. උන්වහන්සේ රජ මාලිගයේ දේශනා කරන්නට යෙදුන
ධම්මං චරේ සුචරිතං – න තං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේතී – අස්මිං ලෝකේ පරම් හි ච
යන ගාථාව ශ්‍රවණයෙන් ඇය උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටියා ය. ශ්‍රී සද්ධර්මය පිළිබඳව උතුම් දහම් ඇස උපදවාගත් ප්‍රජාපතී ගෞතමියගේ බලාපොරොත්තුව වූයේ ගිහි ගෙයින් නික්ම බුදු සසුනේ පැවිදීවීමයි. නමුත් අවස්ථා කිහිපයකදීම ඇයගේ එම බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රතික්ෂේප විය.
එක් දිනක් ගෞතමිය බුදුරජාණන් වහන්සේට වස්ත්‍ර යුගලක් සූදානම් කරගෙන පැමිණි විට උන්වහන්සේ වදාළේ ‘පින්වත් ගෝතමියනි, ඔය වස්ත්‍ර යුගලය සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කළ කල්හි එය මට පූජා කළා වෙයි. සංඝයාටද පූජාකළා වෙයි යනුවෙනි. ඇය දෙවැනි, තෙවැනි වරටද එය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියත් බුදුරදුන්ගේ් පිළිතුර වූයේ ‘සංඝයාට පූජා කරන්න’ යනුවෙනි. එවෙලෙහි ඒ අසල සිටි ආනන්ද ස්වාමින් වහන්සේ,
භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා! සුගතයන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා! ස්වාමිනි මේ ප්‍රජාපතී ගෝතමිය ඔබවහන්සේට බොහෝ උපකාර කළා. ඔබ වහන්සේගේ කුඩා මෑණියෝ ය. ඔබවහන්සේ කුªඩා කළ මැනවින් ඇතිදැඩි කළා. පෝෂණය කළා. වැදූ මව කලුරිය කළ දා පටන් ඔබවහන්සේට කිරි පොවමින් මහත් වූ ආදරයෙන් යුක්තව රැකබලා ගත්තා.
ස්වාමිනි, ඔබවහන්සේද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ සෙයින් උපකාර කොට තිබෙනවා. ඔබවහන්සේ නිසාම ඇය තෙරුවන් සරණ ගියා. ඔබවහන්සේ නිසාම ඇය පන්සිල් රැකීමට පින්කම් කිරීමට පුරුදු වුණා.ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි නිසැක වුණා
ආදී වශයෙන් ඇයගේ ගුණ වර්ණනා කරන්නට විය. ආනන්ද හිමියන් එසේ වදාළ කල්හි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය අරභයා දන්දීමේ අනුසස් පිළිබඳව දැක්වෙන විස්මිත දෙසුමක් වන ‘දක්ඛිණ විභංග සූත්‍රය’ දේශනා කොට වදාළ සේක. එදා ප්‍රජාපතී ගෝතමිය අරභයා දේශනා වූ එම දෙසුම අදටත් බොහෝ දෙනාට මහත්ඵල මහානිශංස ලැබෙන ආකාරයෙන් ද දන් පැන් පූජා කිරීම පිණිස බෙහෙවින් හේතු වෙයි. මේ ආකාරයට පින්දහම් රැස්කර ගත් ගෝතමියගේ සිත නිරන්තරයෙන් ඇදී ගියේ පැවිද්ද වෙතයි. රජ මැදුරේ හුදෙකලා වූ යශෝදරාවන්ගෙන්ද පැවිදිවීම පිණිස නිතර ඇවිටිලි ගලා එන්නට විය. ඒ අනුව මහා ප්‍රජාපතී ගෝතමිය මහත් වූ අපේක්ෂාවෙන් යුතුව කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන් හමුවී පැවිදිවීම පිණිස අවසර ඉල්ලා සිටියත් බුදුරදුන් වෙතින් එය තෙවරක්ම ප්‍රතික්ෂේප විය.
නමුත් ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබාගැනීමේ බලවත් වුවමනාවකින් පසු වූ ඇය රෝහිණී නදී තීරයේදී බුදුරජාණන් වහන්සේ වෙතින් ‘කලහවිවාද සූත්‍ර දේශනාව‘ අසා පැවිදි වූ පන්සීයක් පමණ වූ කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් සමඟ කෙස් වැටි කපා දමා කසාවත් හැඳ මැටි පාත්‍රාගෙන, ශ්‍රමණ වෙස් ගෙන බුදුරජුන් වෙත පැමිණියා. කිඹුල්වත්පුර සිට විශාලා මහනුවර දක්වා වූ පනස් එක් යොදුනක් වූ ගමන් මග පා ගමනින්ම නිමකොට වෙහෙසුණු සිරුරින් යුතුව කූටාගාර ශාලාවේ දොරකට බොහෝ දුකට පත්ව කඳුළු පිරුණු මුහුණින් යුතුව සිටින්නා වූ මෙම කුල ස්ත්‍රින් පිරිස ආනන්ද හිමියන්ට දැකගන්නට ලැබිණි. ඉක්බිති ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් කාන්තාවන් සඳහා පැවිද්ද ලබාදෙන සේක්වා! යන ඉල්ලීම නැවතත් බුදුරදුන් ඉදිරියේ ඉදිරිපත් විය. එමෙන්ම ගෞතම බුදුසුසුන තුළ පැවිදි වූ කාන්තාවන්ටද සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මගඵල පසක් කිරීමට බාධාවක් නොමැති බැවින්ද අවසානයේ උන්වහන්සේගේ අනුමැතිය ඒ සඳහා ලැබුණි.
’එසේනම් ආනන්දයෙනි, මහා ප්‍රජාපති ගෝතමිය අෂ්ටගරුක ධර්ම පිළිපදින්නේ නම් එයින්ම ඇගේ පැවිදි උපසම්පදාව සිදුවන්නේ”යැයි වදාළ සේක.
කාලය ගෙවෙද්දී ඇයගේ වයස එකසිය විස්සක් වූ විට පිරිනිවන් පාන්නට ඇය අවසර ලබාගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩම කොට දොහොත් මුදුන් දී වන්දනා කර ගෞරවයෙන් යුතුව මෙසේ පැවසීය.
සුගතයන් වහන්ස, මම ඔබවහන්සේගේ මව් වෙමි. වීර්යයන් වහන්ස ඔබවහන්සේ මාගේ පියා වෙයි. නාථයන් වහන්ස, ඔබ වහන්සේ මට සදහම් සුව ලබා දුන් සේක. ගෞතමයන් වහන්ස මම ඔබවහන්සේ වෙතින් උපන්නෙමි. ඔබ වහන්සේගේ් රූපකාය මා විසින් වඩන ලදී. උතුම් වූ මාගේ දහම්කාය ඔබ වහන්සේ විසින් වඩන ලදී. මහා මුනිවරයාණෙනි, මා විසින් කුඩා කළ ඔබවහන්සේ හදා වඩා ගන්නා ලදී. නමුත් ඒ හදාවඩා ගැනීමට ඔබවහන්සේ මට ණයගැති නොවෙයි….
ආදි ලෙස තුති ප්‍රකාශ කොට ආදර ගෞරව වන්දනා මාන දක්වා නොයෙක් පෙලහර පාමින් පිරිනිවන් පිණිස සමුගෙන වැඩම කළා ය. එවිට බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධ මාතාවන්ට කෘතගුණ දැක්වීම පිණිස සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන සඟරුවන සමගින් විහාර දොරටුව තෙක් වැඩම කළහ.
තෙරුවන් සරණයි
එක් පසෙකින් භික්ෂු සංඝයා ද එක් පසෙකින් භික්ෂුණී සංඝයා ද මධ්‍යයේ තථාගතයන් වහන්සේ ද වඩා හිඳුවා දෙන බුද්ධ ප්‍රමුඛ මහා දානය පළමුවන සාංඝික දානය ය. මේ දානය තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ද සංඝයා මැද සධාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා දිය හැකි බව අටුවාවෙහි දක්වා තිබේ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සඞ්ඝයා හට දෙන දානය දෙවන සාංඝික දානය ය.
භික්ෂු සංඝයාට පමණක් දෙන දානය තෙවන සාංඝික දානය ය.
භික්ෂුණී සංඝයාට පමණක් දෙන දානය සිවු වැනි සාංඝික දානය ය.
මාගේ දානයට භික්ෂු සංඝයාගෙන් මෙ පමණ භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණී සංඝයාගෙන් මෙ පමණ භික්ෂුණීහු ද පැමිණෙන සේක්වායි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍රණය කොට පැමිණියා වූ භික්ෂු භික්ෂුණීන්ට දෙන දානය පස්වන සාංඝික දානය ය
එසේ නිමන්ත්‍රණය කොට භික්ෂූන් වහන්සේලාට පමණක් දෙන දානය සවන සාංඝික දානය ය.
එසේ නිමන්ත්‍රණය කොට භික්ෂුණීන්ට පමණක් දෙන දානය සත්වන සාංඝික දානය ය.
මේ දාන සත අතුරෙන් මෙ කල දිය හැක්කේ තුන්වන, සවන දාන දෙක පමණයි. එක භික්ෂුවකට වුවද සවන සාංඝික දානය දිය හැකි ය. සවන සාංඝික දානය දිය යුතු සැටි මෙසේ ය. සංඝාරාමයකට හෝ සංඝයා වැඩ සිටින තැනකට හෝ ගොස් අසවල් භික්ෂූන් වහන්සේ ය කියා නියමයක් නො කොට මාගේ දානය පිළිගැනීමට මෙ පමණ ගණනක් භික්ෂූන් වහන්සේලා සංඝයාගෙන් ලැබෙන සේක්වායි සංඝ ස්ථවිරයන් වහන්සේට ආරාධනය කොට සංඝයා වෙනුවෙන් පැමිණෙන්නා වූ ඒ භික්ෂූන්ට දානය පිරිනැමිය යුතුය. තමාට දිය හැක්කේ එක් භික්ෂුවකට නම් ඒ මහා සංඝයාගෙන් එක් නමක් වැඩම කරන සේක්වා යි පුද්ගල නියමයක් නැති ව නිමන්ත්‍රණය කොට සංඝයා වෙනුවෙන් පැමිණියා වූ කවර භික්ෂුවකට හෝ සංඝරත්නයට දෙමිය යන අදහසින් දන් දුන් කල්හි සවන සාංඝික දානය දුන්නේ වේ. එසේ දීමේදී “ඉමං භික්ඛං භික්ඛුසඞ්ඝස්ස දේම” යන වාක්‍යය කියන්නට වුවමනා නැත. එසේ දෙන කල්හි සංඝයා වෙනුවෙන් පැමිණි භික්ෂුව “සිල්වතෙක්ය ගුණවතෙක්ය” කියා සිත සතුටු කර ගෙන හෝ “දුශ්ශීලයෙක අනුපසම්පන්නයෙක” කියා සිත නො සතුටු කරගෙන හෝ දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නො වේ. සාංඝික වන්නට නම් පැමිණෙන භික්ෂුවගේ ගුණාගුණ නො සිතා සංඝයාට දෙන අදහසින් දිය යුතු ය. පැමිණෙන පුද්ගලයා ගැන නොසලකා සංඝරත්නය ගැන ම සලකා දන් දීම බොහෝ දෙනාට අපහසු කාර්‍ය්‍යයෙකි. සඟින් එක් භික්ෂුවක් හෝ භික්ෂූන් වැඩි ගණනක් හෝ ලබා ගෙන දන් දෙන්නවුන්ට පිළිපැදිය යුතු සැටි දැන ගැනීමට අටුවාවෙහි එක් උපාසක මහතකුගේ පුවතක් දක්වා තිබේ. ඒ මෙසේ ය:
පෙර සංඝාවාසයක දායකයකු වූ එක් උපාසක තුමෙක් සාංඝික දානයක් දෙනු පිණිස විහාරයට ගොස් සඟින් එක් නමක් ලැබෙන ලෙස නිමන්ත්‍රණය කෙළේ ය. ඔහුගේ දානය පිළිගන්නට පැමිණියේ දුශ්ශීල භික්ෂුවකි. උපාසකතුමා ද ඒ භික්ෂුව ගැන දන්නේ ය. එහෙත් ඒ උපාසකතුමා ඉතා ගෞරවයෙන් ඒ භික්ෂුව පිළිගෙන පා සෝදවා උතුම් අස්නක වඩා හිඳුවා සුවඳ දුමින් හා මලින් ද පුදා ඉතා ගෞරවයෙන් දන් දිණි. එදින සවස් කාලයේ පන්සලේ වැඩක් සඳහා උදැල්ලක් ලබා ගැනීමට ඒ භික්ෂුව ඒ උපාසක තැන වෙත පැමිණියේ ය. උපාසක තැන භික්ෂුව දැක හුනස්නෙන් නො නැගීම “ගෙන යනුයි” කියා උදැල්ල භික්ෂුව ඉදිරියට විසි කළේය. එය දුටු මනුෂ්‍යයෝ “මේ භික්ෂුවට දානයට පැමිණි වේලාවේ දී බුදුනට සේ ගරු බුහුමන් කොට දැන් මෙසේ කිරීමට කරුණ කවරේ දැ”යි විචාළහ. උපාසකතුමා, “මා ඒ වේලාවේ දී ගරු බුහුමන් කෙළේ මේ භික්ෂුවට නොව සංඝ රත්නයට ය”යි කී ය. සංඝ රත්නයෙන් නමක් දෙනමක් ලබා ගෙන සවෙනි සාංඝික දානය දෙන්නෝ මේ උපාසකතුමා මෙන් පැමිණෙන භික්ෂූන්ගේ ගුණාගුණ ගැන නො සලකා සංඝ ගුණය ම සලකා දන් දීම කෙරෙත්වා.
සාංඝික දානයේ අනුසස්
“භවිස්සන්ති ඛො පනානන්ද, අනාගතමද්ධානං ගොත්‍රභූනො කාසාවකණ්ඨා දුස්සීලා පාපධම්මා, තෙසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති තදාපාහං ආනන්ද, සංඝගතං දක්ඛිණං අසඞ්ඛෙය්‍යං අප්පමෙය්‍යං වදාමි. නත්වෙවාහං ආනන්ද කෙනචි පරියායෙන සංඝගතාය දක්ඛිණාය පාටිපුග්ගලික දානං මහ්ඵලතරන්ති වදාමි”
යනුවෙන් ආනන්දය! අනාගත කාලයේ දී භික්ෂූහු ය යන නාමය පමණක් ඇත්තා වූ “කාසාවකණ්ඨ” නම් වූ දුශ්ශීල වූ ලාමක ස්වභාවය ඇත්තා වූ ශ්‍රමණ වේශධාරීහු ඇති වන්නාහ. ඒ දුශ්ශීලයන් කෙරෙහි සංඝයා උදෙසා දන් දෙන්නාහු ය. ආනන්දය! එකල්හි ද මම සංඝගත දක්ෂිණාවේ ආනිසංස අසංඛෙය්‍ය අප්‍රමෙය්‍ය වන බව පවසමි. ආනන්දය! කිසි ම ආකාරයකින් සංඝගත දක්ෂිණාවට වඩා පෞද්ගලික දානය මහත්ඵලතරය යි මම නො පවසමි යි තථාගතයන් වහන්සේ සාංඝික දානයේ ආනිසංසය වදාළ සේක.
සම්බුද්ධයන් වහන්සේ ජීවමාන කාලයේ පටන් ශාසනාන්තයෙහි ඇති වන කාසාව කණ්ඨකයන්ගේ කාලය දක්වා බුදුසස්නෙහි පැවිදි වන සියල්ලෝ ම සංඝරත්නයට අයත් වන්නාහ. එබැවින් සංඝරත්නයට අයත් පුද්ගල සමූහයා ඉතා බොහෝ වෙති. මෙපමණ ලක්ෂ ගණනෙක කෝටි ගණනෙකැයි ප්‍රමාණ නො කළ හැකිය. යටත් පිරිසෙයින් බත් සැන්දක් මුත් සංඝ රත්නයට දෙමිය කියා දුනහොත් ඒ දාන වස්තුව සම්පූර්ණ සංඝ රත්නයට ම හිමි වන බැවින් සංඝයාට දෙන තැනැතතේ ඉතා සුළු දෙයක් දුන්නේ වී නමුත් මහත් වූ පුද්ගල සමූහයකට දුන්නේ වේ. අන් අයුරකින් එපමණ මහත් පුද්ගල සමූහයකට පැමිණෙන ලෙස දීමක් නො කළ හැකි ය. පුද්ගලයන් බොහෝ දෙනකුන්ට දීමක් වන බැවින් සාංඝික දානය මහානිසංස වේ. දානය මහත් ඵල වීමට ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණ සම්පත්තිය ද කරුණක් වේ. සංඝ රත්නයට අයත් පුද්ගලයන් අතුරෙන් සාරිපුත්‍රාදි එක් රහතන් වහන්සේ කෙනකුගේ ගුණය ද ප්‍රමාණ කළ නොහෙන පමණට මහත් ය. එ බඳු ගුණවත් පුද්ගලයන් මහත් සංඛ්‍යාවක් ඇතුළත් වන්නා වූ සංඝ රත්නයේ ගුණස්කන්ධය ප්‍රමාණ කළ නොහේ. සංඝරත්නයේ ගුණ මහන්තත්වය නිසා ද සාංඝිකදානය බොහෝ අනුසස් ඇතියක් වන්නේ ය.
Comments
Post a Comment