දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන් -How Buddha as an Aspirant tried to achieve succcess for 7 Years
දුෂ්කර ක්‍රියා කළ මහා බෝසතුන්
ආලාරකාලාම, උද්දකරාමපුත්ත ආදී තවුස් ආචාර්‍යවරුන් වෙතින් සමුගෙන "කිංකුසල ගවේෂීව" හුදකලාව නිවන් සොයමින් පැමිණි බෝසතුන් උරුවෙළ දනව්වට පැමිණ "සේනානි" නියංගම් ඇසුරු කොට නේරංජනා නදී තීරයේ වන ලැහැබෙක්හි අනුක්‍රමයෙන් උග්‍ර තපස් දම් පිරීම ආරම්භ කළහ.
එහිදී එතුමාට ඒ වන විට තවුස් පැවිද්දෙන් පැවිදිව සිටි කොණ්ඩඤ්ඤ ,වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග තවුසන් මුණ ගැසුණු අතර ඔවුහු බෝසතුණට උපස්ථාන කරන්නට සතුටින් ඉදිරිපත් වූහ.
මේ මහා වීරකථාවේ සය අවුරුද්දක් පුරා එම මහා වීරයාණන් අත්දුටු දුෂ්කර ක්‍රියා අප්‍රමාණයි.එයින් බිඳක් පමණක් ගෙනහැර පෑම මේ ලිපියේ අරමුණයි. එය බුදුමුවින්ම පැහැදිලි කළ අයුරින් මෙහිලා සඳහන් කරන්නෙමු.
දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ජානුස්සෝනි බ්‍රාහ්මණයාට මෙසේ වදාළහ.
ජානුස්සෝනි, මම පසළොස්වක තුදුස්වක අටවක, අමාවක වැනි දිනවල රාත්‍රිකාලවල ගෙයක් දොරක් නොමැති මහා රූස්ස ගස් ඇති අඳුරු තැන්වල තනිවම ඉදිද්දී ඇග කිලිපොළා යන දේවල් දකිනවා.ශබ්ද ඇහෙනවා.නමුත් මං ඒ තැන්වලින් සෙළවුණේවත් නැහැ.
සමහර වෙලාවක මුවෙක් දුවනවා. ඒ වෙලාවේ මොනරෙක් ගසක සිට කෝටු කෑල්ලක් බිමට දමනවා.සුළං පාරත් කරකැවිලා අවුත් බිම තියෙන සේරම කුණු රොඩු කොළ උඩට උස්ස උස්ස ගන්නවා.
මේ වෙලාවට මට මහත් බියක් දැනෙනවා.නමුත් මං හිත හදාගන්නවා.සිටී ඉරියව්වෙන්ම ඉදලා බිය දුරු කරගන්නවා.මගේ ප්‍රතිපත්තියට මුල් තැන දෙනවා.
මා සමහර වෙලාවට සක්මන් කරන විට හිතට මහා බියක් එනවා.මං ඒ වෙලාවට නිදාගන්න යන්නෙවත් ඉදගන්නේ යන්නේවත් නැතිව සිත ධෛර්යය කරගෙන සක්මනේම යෙදෙනවා.ඔය විදියට මං බිය දුරු කරගෙන ප්‍රතිපත්තියට මුල්තැන දෙනවා.
මගේ තවත් දුෂ්කර ක්‍රියාවක් තමයි ආහාරවේල ගැන නොතකා ක්‍රියා කිරීම.දින ගණන් ආහාර නොගෙන භාවනා කරනවා. එය මට මහත් අමාරුවක් වුණා.පස්සේ මං පවත්ත ඵලභෝගි ජීවිතයක් එනම් බිමට වැටුන පලතුරක් වැනි දෙයක් ඇහිදගෙන අනුභව කරමින් සති ගණන් කුසගින්නේ ඉදීමෙන් භවනා කළා.
පසුව ඒ ක්‍රමයත් අත්හැර දමලා මා වාඩිවී සිටින තැනින් අතදිග හරිනා හරියේ ඵලයක් තිබුණොත් පමණක් ආහාර වශයෙන් ගනිමින් ආහාර සීමාකොට භාවනාවේ යෙදුණා. මෙමගින් මා කෙලෙස් තැවීමට හුරුවුණා.ඉතින් මේ වගේ ක්‍රියා නිසා මගේ සිරුර ඉතා වෙහෙසටත් පීඩාවටත් පත්වුණා.නමුත් මගේ සිත නොසෙල්වී තියා ගත්තා.
තවත් වරක් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේදි ' සච්චක ' හට මෙසේ වදාළ සේක.
මම මුඛයෙන් ද නැහැයෙන් ද අශ්වාස ප්රශ්වාස වාතය යටපත් කොට භාවනාවේ යෙදෙමි.එවිට මගේ දෙකන් සිදුරෙන් වාතය පිටවෙයි.කම්මල් මයිනහමේ හුළං වගේ එතකොට ශබ්ද නගා හුළං කන්දෙකෙන් පිටවෙනවා.
මේ වෙලාවට මගේ හිස තියුණු බුරුමයකින් විදින්නාක් වගේ මට දැනෙනවා.ඒත් මේ සියල්ල මම විද දරාගත්තා මිසක් උත්සහය අත්හළේ නැහැ.වරක් මම සක්මන් මළුවක සිහිනැතිව ඇදවැටී තියෙනවා.
ආහාර නොගෙන මං කොච්චර නං කෙට්ටු වුනාද කීවොත් මගේ බඩ පිටට ඇලුණා.බඩ අතගාන කොට පිට අත ගෑවෙන්නෙ.
මගේ කොඳු ඇට පෙළ පබළු වැලක් වගේ මතුවී තිබුණා.අතපය කලුවැල් පුරුක් වගේ පෙනුණා.ඇස්දෙක ළිඳක පතුලෙ තියෙන තරු දෙකක් වගේ යටට ගිලිලා ගිහින් තිබුණා.
ශරීරය අතින් පිරිමදිනා විට කුණු වූ මුල් ඇති ලෝම ගස් ගැලවී යනවා.මළ මූත්‍ර පහ කිරීමට ගිය කල්හි මුළු ශරීරය ම වියළී හැකිළී ගොස් තිබුණු නිසා එම අවස්ථාවල මා දුක් උපදවා සිහි මුර්ජාවි වැටී තිබෙනවා.
උතුම් ධර්ම දානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කරගන්න .
Comments
Post a Comment