තථාගත බුදුරජානන් වහන්සේගේ දස බලයන් - The Special Powers of Lord Buddha




බුදුරජාණන් වහන්සේ දස බලධාරී වන සේක 

( තථාගත බුදුරජානන් වහන්සේගේ දස බලයන් )


 මහා සීහනාද සුත්‍රයේ මෙසේ දැක්වෙන තථාගතයාණන් වහ්න්සේ තුල අභීත වූ , අසාමාන්‍ය වූ , අතුල්‍ය වූ , විශාරද වූ ගම්භීර වූ බලයන් දහයක් ඇති බවත් , ඒවා තථාගත බල බවත් , භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේට දේශනා කල සේක.

එම තථාගත බලයන් හි පිහිටා ලෝකයා හට සත්‍ය ප්‍රකාශ කරන විට එය සියලු සතුන්ගේ නාදය අභිබවා යන සිංහනාදයක් වැනි බවත් , සියලු දේශනා ක්‍රම අභිබවා යන බ්‍රහ්ම චක්‍රයේ ප්‍රවර්තනයක් බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

දස ඛෝ පතිමානි සාරිපුත්ත තථාගතස්‌ස තථාගතබලානි යෙහි බලෙහි සමන්නාගතෝ තථාගතෝ ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති ” – මහාසීහනාද සුත්‍රය –

තථාගතයන් වහන්සේ සතු අන් කිසිවකුට නැති ඥාන බල දහයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. අභීත සිංහනාද පවත්වන සේක. බ්‍රහ්මචක්‍ර නම් වු උත්තම ධර්‍මචක්‍රය පවත්වන සේක. තථාගතයාණන් වහන්සේගේ ඒ දසබල ඤාණ දහය නම්,

1. ඉධ සාරිපුත්ත,

තථාගතෝ ඨානඤ්ච ඨානතෝ අට්‌ඨානඤ්ච අට්‌ඨානතෝ යථාභූතං පජානාති

ශාරිපුත්‍රය, තථාගත බුදුරජාණන් වහන්සේ සිදු විය හැකි දෙය සිදු විය හැකි දෙයක් ලෙසත්, සිදු විය නො හැකි දෙය සිදු විය නො හැකි දෙයක් ලෙසත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින පළමු ඤාණ බලය යි.

මේ ඥානයෙන් තථාගතයන් වහන්සේ සෝවාන් පුද්ගලයෙකු විසින් කිසි සංස්කාරයක් නිත්‍යය කියා ද සුඛය කියා ද ආත්මය කියාද වරදවා ගන්නේ නැති බව දන්නා සේක. පෘථග්ජනයකු විසින් නම් එසේ වරදවා සිතා ගැනීමට කරුණු ඇති බව දන්නා සේක.

සෝවාන් පුද්ගලයෙකු විසින් මව මැරීමට , පියා මැරීමට , රහතුන් මැරීමට , නපුරු සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම , සංඝයා බිඳවීමට කරුණක් නැති බව දන්නා සේක. පෘථග්ජනයකු විසින් එසේ කිරීමට කරුණු ඇති බව දන්නා සේක. සෝවාන් පුද්ගලයකු විසින් භාවාන්තරයේ දී වුව ද බුදුරදුන් හැර අන් අයකු තමාගේ ශාස්තෘවරයා සැටියට පිළිගැනිමට කරුණක් නැති බව දන්නා සේක.

පෘථග්ජනයන්ට වනාහි අන්‍යයන් තමන්ගේ ශාස්තෘවරයා සැටියට පිළිගැනීමට කරුණු ඇති බව දන්නා සේක. සෝවාන් පුද්ගලකුට සසර අටවන වරටත් ඉපදීමට හේතුවක් නැති බවත් දන්නා සේක. එක් ලෝකධාතුවක එකවර ලොවුතුරා බුදුවරයන් දෙනමක් පහළවීමට හේතුවක් නැති බවත්, එක් ලෝක ධාතුවක එකවර සක්විති රජුන් දෙදෙනකු පහළවීමට හේතු නැති බවත් දන්නා සේක. ස්ත්‍රිත්වයෙහි සිට ලොවුතුරා බුදු විය හැකි වීමට ද චක්‍රවර්ති රජ විමට ද මාර තනතුර කළ හැකි වීමට බ්‍රහ්මත්වය කළ හැකි වීමට හේතුවක් නැති බවත් දන්නා සේක.

කාය දුශ්චරිතය වාක් දුශ්චරිතය මනෝ දුශ්චරිත යන මේවායින් ඉෂ්ඨ විපාක ලැබිමට කරුණක් නැති බවත්, කාය සුචරිතය වාක් සුචරිතය මනෝ සුචරිතය යන මේවායින් අනිෂ්ටවිපාක ලැබීමට කරුණක් නැති බවත් දන්නාහ. මෙසේ සියල්ල පිළිබඳ ව හේතු සහ අහේතු දන්නා සේක

2. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ අතීතඅනාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසෝ හේතුසෝ විපාකං යථාභූතං පජානාති

සාරිපුත්‍රය , තථාගත බුදුරජාණන් වහන්සේ අතීත, අනාගත සහ වර්තමාන යන කාලයන්ට අයත් ඕනෑම කර්මයකට ලැබෙන විපාක ගැන ඒ ඒ හේතු වශයෙන් ද, තැන් වශයෙන් ද, ඉතාමත් නිවැරදි ලෙස අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින දෙවන ඤාණ බලය යි.

3. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ සබ්බත්ථගාමිනීං පටිපදං යථාභූතං පජානාති

සාරිපුත්‍රය , තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි ඕනෑම ආකාරයකින් ඕනෑම කෙනෙකුගේ උපතක් සිදුවන ආකාරයත්, එයට හේතු වන්නා වූ සියලු කරුණුත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටින සේක. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින තුන්වන ඤාණ බලය යි.

4. පුන ච පරං සාරිපුත්ත,

අනේක ධාතු නානා ධාතු ලෝකං යථාභූතං පජානාති

තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා නොයෙකුත් ධාතු ස්වභාව වශයෙන් ගැලපී යන ආකාරය ගැනත් එනම් , සත්පුරුෂයන් සත්පුරුෂයන් සමඟ එකතු වීම, කෙලෙහි ගුණ නො දත් අසත්පුරුෂයන් එවැනි ම අසත්පුරුෂයන් හා එකතු වීම ආදී ධාතු ස්වභාවයන් ගැනත්, හොඳ හොඳ සමඟ එකතු වීම, නරක නරක සමඟ එකතු වීම ආදී ධාතු ස්වභාවයන් ගැනත් ලෝකයෙහි අනේක වූ ධාතු ස්වභාව ගැනත්, නා නා ධාතු ස්වභාව ගැනත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගන වැඩ සිටින සේක. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හතරවෙනි ඤාණ බලය යි.

5. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ සත්තානං නානාධිමුත්තිකථං යථාභූතං පජානාති –

ශාරිපුත්‍රය, සත්වයන්ගේ සිත යට ඇති හැකියාවන් සහ නොහැකියාවන් මනාව භාග්‍යවතුන් වහන්සේ දනී. තථාගත බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයේ ජීවිතවලට මේ සත්වයා සකස් වෙවී යන ආකාරයත්, මේ සත්වයන් තුළ ඇති විවිධත්වයත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින පස්වෙනි ඤාණ බලය යි.

6. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං

ඉන්ද්‍රියපරෝපරියත්තං යථාභූතං පජානාති

තථාගත බුදුරජාණන් වහන්සේ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතයක බලපවත්වන කුසලතා දියුණු වන ආකාරයත්, පිරිහී යන ආකාරයත් පිළිබඳවත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හයවන ඤාණ බලය යි.

7. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ ඤානවිමෝක්‌ඛසමාධිසමාපත්තීනං

සංකිලේසං වෝදානං වුට්‌ඨානං යථාභූතං පජානාති

තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා විසින් බණ භාවනා වශයෙන් දියුණු කරන්නා වූ ධ්‍යාන, විමෝක්ෂ, සමාධි, සමාපත්ති ආදියත්, එ්වා පිරිහීමට හේතු වන කරුණුත් එයින් අත්මිදෙන ආකාරයත්, ඒවා දියුණු කළ හැකි ආකාරයත් එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින හත්වෙනි ඤාණ බලය යි.

8. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ අනේක විහිතං පුරේරීනිවාසං අනුස්‌සරති

තථාගත බුදුරජාණන් වහන්සේ අතීත ජීවිත එකක් දෙකක් පමණක් නොව, සිය ගණන්, සිය දහස් ගණන්, ලක්ෂ කෝටි ගණන්, කල්ප ගණන් ගෙවා ඇති අයුරු එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින අටවෙනි ඤාණ බලය යි.

9. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ දිබ්බේන චක්‌ඛුනා විසුද්දේන

අතික්‌කන්තමානුසකේන සත්තේ පස්‌සති.

චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ

සුවණ්ණේ දුඛ්ඛණ්ණේ සුගතේ දුග්ගතේ.

යථාකම්මූපගේ සත්තේ පජානාති

තථාගත බුදුරජාණන් වහන්සේ කර්මානුරූපව ලෝක සත්වයා චුත වෙන ආකාරයත්, එමෙන් ම කර්මානුරූපව ම යළි උපදින ආකාරයත්, පව් කළ උදවිය එම පව් හේතුවෙන් දුගතිය කරා යන ආකාරයත්, පින් කළ උදවිය එම පින් හේතුවෙන් සුගතිය කරා යන ආකාරයත් හරියට සිව්මංසලක ඇති මහල් නිවසක ඉහල මාලයේ සිට පහල බලන විට ගෙට ඇතුලුවන අය , ගෙයින් පිටවන අය පැහැදිළිව දර්ශනය වන්නා සේ , එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින නවවන ඤාණ බලය යි.

10. පුන ච පරං සාරිපුත්ත,

තථාගතෝ ආසවානං ඛයා අනාසවං

චේතෝ විමුක්‌තිං පඤ්ඤා විමුක්‌තිං

දිට්‌ඨේව ධම්මෙව සයං අභිඤ්ඤා

සච්ජිකත්වා උපසම්පඡ්ජ විහරති

ශාරිපුත්‍රය, තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ තුළ උපදවා ගන්නා ලද අතිවිශිෂ්ඨ වූ ඤාණය මෙහෙයවීමෙන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වී උතුම් අරහත්වයට පත් වී වදාළ බව එ් ආකාරයෙන් ම අවබෝධ කරගෙන වැඩ සිටිති. මෙය තථාගතයන් වහන්සේ තුළ පවතින දසවෙනි ඤාණ බලය යි.


සබ්බ දානං - ධම්ම දානං ජිනාති 


Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold