යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය



යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය 

ලොව කාන්තා උත්තමාවිය යසෝදරා හෙවත් භද්දකච්චානා මහ රහත් තෙරනිය පිරිනිවන් වැඩීමට පෙර බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කල පාපොච්චාරණය !!

යසෝදරා දේවිය ගැන නොදන්නා බෞද්ධයෙක්‌ සිටිය නොහැක. ඇය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිහිව සිටි කාලයේ ඔහුගේ බිසවය. සිදුහත් කුමරුගේ බිසවය. බුදුරජාණන් වහන්සේගේ එකම පුතු රාහුල කුමාරයාගේ මෑණියෝය. ඇයගේ පියාණන් වූයේ සුප්‍රබුද්ධ රජතුමාය. මව වූයේ අමිතා බිසවය. සොහොයුරා දේවදත්තය. බුදුන් උපන් මොහෙතේම උපත ලද යසෝදරා මුලින් හැඳින්වූයේ බිම්බා දේවිය නමිනි. ඒ ඇය බිම්බ රූපයක්‌ මෙන් අතිශය රූපසම්පන්නව වූ නිසාය. පසුව ඇය යසෝදරා නමින් හැඳින්වීය. ඒ ඇය සය අනූලක්‌ෂයක්‌ කාන්තාවන්ගේ අග රැජිණිය දැරූ නිසාය. යසෝදරා යනු යස පිරිවර දරන්නී යන අදහසයි. රහත්වූ පසු ඇය භද්දකච්චානා තෙරණිය වූවාය. 

යසෝදරා දහසය වියේදී සිදුහත් කුමරාගේ බිසව වු අතර 29 වියේදී ඇය රාහුල කුමරා බිහි කළාය. එදිනම සිදුහත් කුමරුන් බුදුබව පතා අභිනිෂ්ක්‍රමණය කළ බැවින් ඇයද තපසට යාමට උත්සාහ ගත්තාය. එහෙත් සුද්දෝධන රජතුමා එම අදහසට එරෙහිව කරුණු දක්‌වා ඇයට ගිහිගෙය හැර යා නොහැකි වන සේ මුරකාවල්ද දා ඇයව මහත් සෙනහසින් රැකබලා ගත්තේය. සිදුහත් කමරු ගිය මග යා නොහැකි බව දැනගත් යසෝදරා සිදුහත් කුමරු හිස බූ ගෑ බව අසා ඇයද හිස බූ ගෑවාය. කසාවත්‍ර අඳින බව අසා ඇයද කසාවත් ඇන්ඳාය. පාත්‍රයේ වළඳන බව අසා ඇයද පාත්‍රයේ වළඳන්නට පටන් ගත්තාය. එක වේලක්‌ වළඳන බව අසා එක වේලක්‌ ආහාර ගත්තාය. උච්චාසයන මහාසයනයෙන් ඇයද වැළකුණාය. සත් අවුරුද්දක්‌ සිදුහත් කුමරු නැති සොවින් අනුරාගි වේදනාවක්‌ වින්ද ඇය බුදුන් බුදුවී සත් වසරකට පසු කිඹුල්වත් පුර වැඩිදා වහා දුවගොස්‌ ශ්‍රී දෙපා වැළඳ ගෙන ශෝකය තුනී වනතුරුම හඬා වැළපුණාය. පසුකලක ඇය බුදුන් වෙත ගොස්‌ පැවිදි වී අවසානයේ රහත් වූවාය. හැත්තඅට වසරක ආයු කාලයකින් පසු ඇය බුදුරජාණන් වහන්සේට පෙර පිරිනිවන් පෑ යුතු යෑයි සිතා බුදුන් වෙත ගොස්‌ ඒ සඳහා අවසර ලබා ගෙන එදිනම පිරිනිවන් පෑවාය. මේ යසෝධරා ගැන කෙටි හැඳින්වීමයි.

යසෝදරා හෙවත් භද්දකච්චානා තෙරණිය පිරිනිවන් පෑමට පෙර පාපොච්චාරණයක්‌ කළාය. යසෝධරා ගැන දන්නා ඔබ මේ පාපොච්චාරණය කුමක්‌ දැයි නොදන්නවා විය හැකිය. පාපොච්චාරණය යනු තමන් අතින් සිදුවූ වැරැදි අනුන් ඉදිරියේ හෙළිකිරීමයි. මෙය අද බෙහෝවිට අසන්නට දකින්නට ලැබෙන්නේ පොලිස්‌ හෝ ආරක්‌ෂක හමුදාවන් අතරට සැකකරුවකු පත්වූ විට කරන හෙළිදරව්වක්‌ වශයෙනි. 

යසෝදරාවගේ පාපොච්චාරණය එසේ වූවක්‌ නොවේ. ඇය වසර 78 ක්‌ම ආයු වළඳා සිටින විට මෙවන් සිතිවිල්ලක්‌ පහළවිය. මා දැන් සැත්තෑ අටවැනි වියේය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර සැරියුත් මුගලන් අගසව් දෙනමම පිරිනිවන් පෑ සේක. මහාප්‍රජාපතිය පිරිනිවන් පෑවාය. රාහුල සහ නන්ද දෙදෙනාද පිරිනිවන් පෑවෝය. මාද එසේම බුදුරජාණන් වහන්සේට ප්‍රථම පිරිනිවන් පැ යුතුය යන්නය. මේ සිතිවිල්ල ඇතිවූ දිනම ඇය බුදුරජාණන් වහන්සේ හමුවී ඒබව සැලකර සිටියාය. බුදුරජාණන් වහන්සේ එය අනුමතකර පිරිනිවන් පෑමට පෙර ඇයට පෙළහර පානා ලෙසට අණකළ සේක. එදිනම රාත්‍රියේ පෙළහර පා පිරිනිවන් පෑමට පෙර ලක්‌ෂ සංඛ්‍යාත ජනී ජනයා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඳ නමස්‌කාර කර පෙර බවවලදී බෝධිසත්වයන්ගේ පෙර ආත්මවල බිරිඳ වශයෙන් සිටියදී ඇය අතින් සිදුවූ අතපසුවීම් පිළිබඳව ප්‍රකාශකර ඇය අතින් යම් වැරැද්දක්‌ සිදුවුණි නම් ඒවාට සමාවන ලෙස ඉල්ලා කළ ප්‍රකාශය යසෝධරාගේ පාපොච්චාරණයයි. මේ එම පුවතයි. 

භාග්‍යවතුන් වහන්ස මා දැන් අට සැත්තෑ වියේ පසුවෙමි. එමනිසා ජරා දුක්‌ පීඩාවන්ට ලක්‌වීමට පෙර මා පිරිනිsවන් පෑ යුතු බවට අධිෂ්ඨාන කර ගතිමි. මේ සසර සංසාරයේ අනන්ත අප්‍රමාණ වාරයක්‌ මා ඔබ වහන්සේගේ ප්‍රියම්භිකාව වූයෙමි. ඒ සෑම අවස්‌ථාවකදීම මා ඔබ වහන්සේගේ සෙවනැල්ල මෙන් ඔබ වහන්සේ පසුපස සිටියෙමි. නිරන්තරයෙන්ම පතිවත රකිමින් කීකරුව ඔබ වහන්සේගේ එAකායන බලාපොරොත්තුව වූ ලොව්තුරා බුද්ධත්වය ලබා ගැනීමට පුරනා දස පාරමිතාවන් පුරවා ගැනීමට මට හැකි උපරිමයෙන්ම දායක වූයෙමි. එහෙත් ස්‌ත්‍රී ජාතියටම ආවේණිකවූ ලාමකකම මටද උරුම වී තිබිණි. ඒ නිසාම මා අතින්ද අති උත්තමවූ ඔබ වහන්සේට කෙනෙහිලි කම් අඩුපාඩු අකටයුතු සිදුවන්නට ඇත. ඒ කිසිවක්‌ මා සිතාමතා කළ කී දෑ නොවන බව මේ මොහොතේ අවධාරණය කරනු කැමැත්තෙමි. එවන් මදි පුංචිකම් අකටයුතුකම් සිදුවූ බව අතර මුල් තැනක්‌ ගන්නේ ඔබ වහන්සේ කුසරජු ලෙස උපත ලද භවයයි. එසඳ මා රූපශ්‍රීයෙන් අහංකාරවූ මනමත්වූ ඔබ වහන්සේගේ බිසව වූ ප්‍රභාවතිය වූවාය. එදා මා ඔබවහන්සේට කළ නින්දා අපහාස අවලාද අනන්තය අප්‍රමාණය. නිමක්‌ නැත. ඇත් ගාලේ අස්‌ ගාලේ සැඟවී සිට මා හට ඇත් අස්‌ බෙටිවලින් ගසා විහිළු කළ විට මා ඔබට බැණ වැදුනෙමි. මඟුල් පොකුණෙහි සැඟවී සිට මා අත ඇල්ලූ කල මා ඔබට විරූපී යක්‌ෂයෙකැයි නින්දා කළෙමි. ඔබ අප මාලිගයෙහි වතුර අදිමින් අතුගාමින් දර පලමින් කෑම පිසිමින් බැලමෙහෙකම් කරමින් දහ දුක්‌ විඳිනා විට මා මාලිගයෙහි රජ සැප වින්ඳෙමි. ඔබගේ දෑතින් පිසූ රජ බොජුන් මා වෙත ගෙන ආ විට මා ඒවා ප්‍රතික්‌ෂේප කළෙමි. ඒවායින්ම ඔබට දමා ගසා අපහාස කළෙමි. භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ කිසිවක්‌ මා හිතා මතා කළ කී දේ නොවේ. ළාමකවූ ස්‌ත්‍රියක්‌ අතින් මේ සිදුවූ වැරැදිය. එහෙත් ස්‌වාමීනි, ඔබ වහන්සේට දස පාරමිතා පිරීමට ඒ සියල්ල මහෝපකාරී වූවා නිසැකය. 

විවාහවූ පසුවද මා ඔබ වහන්සේ හැරදා මාගේ දෙමාපියන් වෙත ගියාය. මා විසින් අනේක විධ අවලාද අපවාද කෙනහිළි කම් කරද්දීත් ඔබ වහන්සේ අන් ස්‌ත්‍රියක්‌ නොපතා මාවම පතා සිටීමෙන් ඔබ වහන්සේගේ සීල පාරමිතාව සාක්‌ෂාත් විය. මා පතා මුළු රාජ්‍යයම හැරදා එAමෙන් නෛශ්කර්ම පාරමිතාව සාක්‌ෂාත් විය. මා ලබා ගැනීම සඳහා නොයෙක්‌ නොයෙක්‌ කර්මාන්තයන්හි යෙදීමෙන් ප්‍රඥා පාරමිතාව සාක්‌ෂාත් විය.

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold