අපි අවබෝධයෙන් යුතුව තෙරුවන් නමදිමු - We shall worship Buddha ,Dhammaa and Sanga with the real undersatanding



අපි  අවබෝධයෙන් යුතුව  තෙරුවන් නමදිමු 

ඉතිපි සෝ භගවා 

අරහං සම්මා සම්බුද්ධෝ

විඡ්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ

 අනුත්තරෝ ,පුරිසදම්මසාරථී 

සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාතී


සිංහල තේරුම

වාසනා සහිත සකල ක්ලේෂයන් දුරු කළ හෙයින්ද, සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයේ අරටු සිඳලූ හෙයින්ද, ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන හෙයින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද අරහත් නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්‍ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ හෙයින් විජ්ඡාචරණ සම්පන්න නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, සුන්දර වූ තැනට පැමිණි හෙයින් ද සුභාශිත වචන වදාළ හෙයින් සුගත නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයන් තත්වූ පරිද්දෙන් දන්නා හෙයින් ලෝකවිදු නම් වන සේක.

ඒ භාග්‍යවතුන්වහන්සේ සියල්ලන් දමනය කළ හෙයින් අනුත්තර පුරිස දම්ම සාරථී නම් වන සේක.

දමනය කර නිවන කරා පමුණුවන හෙයින් ඒ භග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන් ප්‍රධාන සත්වයන්ට අනුශාසනා කරන හෙයින් සත්ථා නම් වන සේක.

ඒ භාග්‍යවතුන්වහන්සේ සංසාර ස්වභාවය සම්පූර්ණයෙන්ම දැන වදාළ හෙයින් බුද්ධ නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ භග ධර්මයන් ඇති හෙයින් ද, සියලු කෙළෙස් මුලිනිපුටා දැමූ හෙයින් ද, සසර ගමන සිඳලූ හෙයින් ද, නාම රූප ධර්මයන් විභාග කොට දෙසූ හෙයින් ද, භගවා නම් වන සේක.

දහම් වැඳීම

ස්වාක්ඛාතෝ, භගවතා ධම්මෝ 

සන්දිට්ඨිකො, අකාලිකෝ,

ඒහිපස්සිකෝ, ඕපනයිකො, 

පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහීති


සිංහල තේරුම

භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරන ලදී. එහෙයින් ස්වාක්ඛාත නම් වන සේක.

ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය තමා විසින් ම අවබෝධ කර ගත යුතු හෙයින් සන්දිට්ඨික නම් වන සේක.

ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය මාර්ග සිතට අනතුරුව ම කල් නොයොවා ඵල සිත පහළ වන හෙයින් අකාලික නම් වන සේක. 

ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සිතෙහි පිහිටුවා ගත යුතු හෙයින් ඕපනයික නම් වන සේක.

ඒ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය නුවණැත්තන් විසින් තම තමන්ම දත යුතු හෙයින් පච්චත්තවේදිතබ්බ නම් වන සේක.

සංඝ රත්නය වැඳීම

සුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ

උජුපටිපන්නෝ භගවතො සාවක සංඝෝ

ඤායපටිපන්නෝ භගවතො සාවක සංඝෝ

සාමීචිපටිපන්නෝ භගවතො සාවක සංඝෝ

යදිදං චත්තාරි පුරිස යුගානි

 අට්ඨපුරිස පුග්ගලා

ඒස භගවතෝ සාවක සංඝෝ

ආහුනෙයියෝ ,පාහුනෙයියෝ , දක්ඛිනෙයියෝ ,අඤ්ජලිකරණීයෝ 

අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති


සිංහල තේරුම

භාග්‍යවතුන් වහන්සේ ආර්ය මහා සංඝරත්නය සසුන් මගට මනාව පිළිපන් හෙයින් සුපටිපන්න නම් වන සේක. මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන් හෙයින් උජුපටිපන්න නම් වන සේක. නිවන් පිළිස මනාව පිලිපන් හෙයින් ඤායපටිපන්න නම් වන සේක. සසර දුක නැති කරන ප්‍රතිපදාවන්ට මනාව පිලිපන් හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක. දුර බැහැර සිට පූජා ද්‍රව්‍යයන් ගෙනවුත් පිදීමට සුදුසු වන හෙයින් ආහුණ්‍යෙය නම් වන සේක. දුර බැහැරින් එන ඤාතීන්ට පිළියෙල කළ භෝජන පූජා කිරීමට සුදුසු වන හෙයින් පාහුණ්‍යෙය නම් වන සේක. දෙඅත් මුදුනෙහි තබා වැඳීමට සුදුසු වන හෙයින් අඤ්ජලිකරණීය නම් වන සේක. ලෝකයාට උසස් වු පින් කෙතක් වන හෙයින් අනුත්තර පිඤ්ඤඛෙත්ත නම් වන සේක.



Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

Extracts form " Light of Asia " by Sir Edwin Arnold