Powered By Blogger

Ven Sari Putta -Maha Rahat -සැරියුත් මහරහතන් වහන්සේ

 


සැරියුත් මහරහතන් වහන්සේ

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ප්‍රඥා සම්පන්න භික්ෂූන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්තේ සැරියුත් මහරහතන් වහන්සේ යි. එසේම බුදුරදුන් ගේ දකුණත් සර්ව තනතුර දැරුවේ ද, ගෞතම බුදු සසුනේ ධර්ම සේනාධිපති තනතුර දැරුවේ ද සැරියුත් මහරහතන් වහන්සේ යි. ඒ මහා ප්‍රාඥ උත්තමයන් වහන්සේ පිළිබදව සවිස්තර විස්තරයකි මෙය

🌺 බුදු සසුනක අග්‍ර ශාවක පදවිය ලැබිමට  අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර කරන ලද ප්‍රාර්ථනාව ගෞතම බුදු සසුනේදි සඵල වීම.

බිම්බිසාර නරේන්ද්‍රයාණන් විසින් පූජා කළ දඹදිව රජගහනුවර වේළුවනාරාමයේ අපගේ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ එදින උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දහසක් භික්ෂූන් වේළුවනාරාමයේ වැඩ සිටිය හ. එමෙන්ම සාරිපුත්ත හා මොග්ගල්ලාන යන භික්ෂූන් ප්‍රමුඛ දෙසිය පනහක් භික්ෂූන් වහන්සේලා ද වැඩ සිටිය හ. ඒ මේ ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය යි.

ඒ එක්දහස් පන්සියයක් වූ මහා සඟ පිරිස මධ්‍යයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දහම් කථාවෙන් ඒ සියළු දෙනාම සතුටු කොට වදාළ සේක. අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දකුණත් අග්‍රශ්‍රාවක පදවියත්, මහා මොග්ගල්ලාන රහතන් වහන්සේට වමත් අග්‍රශ්‍රාවක පදවියත් පිරිනැමූ සේක. එනමුත් එය ඇතැමුන්ගේ අප්‍රසාදයට හේතු විය. බුදු සසුනේ ඊට පෙර පැවිදි වූ භික්ෂූන් සිටිය දී මේ දෙනමට ම අග තනතුරු ලබා දුන්නේ ඇයි දැයි ඇතැමුන් විපිළිසර විය.

මෙකරුණ අරභයා ඒ මහා කාරුණිකයන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ අතීත පුවත හෙළිදරව් කොට වදාළ සේක.

සර්වඥ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ මේ යුගය මහා භද්‍ර කල්පය යි. මේ යුගයට අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අතීතයේ අනෝමදස්සී නම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එකල බමුණු මහසල් කුලයේ ධනයෙන් ආඪ්‍ය පවුලක ‘සරද’ නම් කුමාරයෙක් උපත ලැබීය. කුඩා කළ පටන් මේ සරද මාණවකයාට හිතෛෂී මිත්‍රයා වූයේ ගෘහපති මහසල් කුලයේ ධනවත් පවුලක උපන් සිරිවඩ්ඪ මාණවකයා ය.

ප්‍රඥාවන්තයෙකු වූ සරද නම් මාණවකයා පියාගේ ඇවෑමෙන් පසු සියළු ධනයට හිමිකරුවා විය. එනමුත් ජරාව, ව්‍යාධිය, මරණය උරුමකරගත් මේ දිවිය ගැන විමසූ සරද මාණවකයා ඒ සියළු ධනය දුගී මගී යාචකාදීන්ට බෙදා දී මහා වනයේ තවුස්දම් පිරීමට තීරණය කළේය. ඔහුගේ පැවිද්ද අසා සූසැත්තෑදහසක පිරිසක් ද ඒ අනුව පැවිදි වූහ. බවුන් වඩමින් පඤ්ච අභිඥා උපදවා ගත් සරද තවුසා ඇතුළු පිරිවර තවුසෝ මහා වනයේ වැඩ විසූහ.

මහා කරුණා සමවතින් ලොව බලනා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මේ තවුසන් පිරිස දැක ඔවුන් වෙත එළඹුණු සේක. ලක්ඛණ ශාස්ත්‍රයේ දක්ෂ වූ සරද තවුසා මහා පුරිස් ලකුණු දැක ඒකාන්තයෙන් ම මේ සර්වඥයන් වූ බුදුරජාණන් වහන්සේම බව හඳුනාගත්තේය. අතිශයින්ම සතුටට පත් ඒ තවුසන් පිරිස අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පුෂ්ප ආසනයක් පූජා කළේය. එමෙන්ම අග්‍ර ශ්‍රාවක වූ නිසභ හා අනෝම යන රහතන් වහන්සේලා ප්‍රමුඛ ලක්ෂයක් රහතුන් හට පුෂ්ප ආසන පිදූහ. නිරෝධ සමාපත්තියට සමවැදුණු අනෝමදස්සී සම්බුදුරජාණන් වහන්සේ සතියක් පුරාවට පුෂ්පයෙන් කළ ඡත්‍රයන් දරා සිටිමින් සරද තවුසාණෝ මහා පින් රැස් කළේය. ඒ රැස් කළ පින් සියල්ලෙන්ම ඔහුගේ පැතුම වූයේ මතු බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක පදවියයි.

තම සමීපතම මිත්‍රයා වූ සිරිවඩ්ඪ හට ද සරද තවුසාණන් මේ මහා පින්කම ගැන දන්වා යැවීය. ඔහු ද අතිශයින් සතුටට පත් ව බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා උදෙසා තම නිවසේ සත් දවසක් මහා දන් පවත්වා මෙබඳු අධිෂ්ඨානයක් කළේය. මේ මහා පින්කම් වල ආනිශංසයෙන් මාගේ මිත්‍ර සරද තවුසා යම් බුදු සසුනක අග්‍ර ශ්‍රාවක වෙයි ද, මා හටත් ඒ බුදු සසුනේ ම දුතිය අග්‍ර ශ්‍රාවකයා වීමේ වාසනාව ලැබේවා යන්නයි.

අනෝමදස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලද ඔවුහු අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වූ මේ මහා භද්‍ර කල්පයේ මනුලොව ඉපදුණේය. සරද තවුසාණන් ව සිටි මහා පින්වන්තයා නාලා ග්‍රාමයේ සාරී බැමිණියගේ කුසින් උපතිස්ස ලෙස උපත ලැබීය. සිරිවඩ්ඪ තෙමේ මොග්ගලී නම් බැමිණියගේ කුසින් කෝලිත ලෙස උපත ලැබීය.

බුදුසසුන කෙරෙහි පහන් සිතින් සාරී බැමිණියගේ පුත් උපතිස්සයන්, සාරිපුත්ත නමින් පැවිදි විය. කෝලිතයන් මහා මොග්ගල්ලාන යන නමින් පැවිදි විය. උතුම් නවම් පුන් පොහෝ දිනයක සසරේ පෙරුම් පුරා පැමිණි ඒ මහා පින්වන්තයින් හට ගෞතම බුද්ධ රාජ්‍යයෙහි අග්‍රශ්‍රාවක බව ලැබිණි.

🌺සැරියුත් මහරහතන් වහන්සේ  තුල තිබුණු මහා ගුණස්කන්ධයෙන් බිඳක්

තථාගත ශ්‍රාවකයන් අතර අග්‍රශ්‍රාවක බව ලැබූ සැරියුත් හිමියෝ උපන් නැණවතෙකි; මහා නුවණැති උතුමෙකි; මහා සාගරයෙහි ජලය බින්දු ගණනින් ද, මහා ගංගාවක වැලි ඇට ගණනින් ද පොළොවෙහි පස් කැට ගණනින් ද ගිණීමෙහි සමත් වූ අද්භූත බුද්ධි බලයෙකින් සම්පූර්ණ වූ හ; ‘මහා පඤ්ඤානං යදිදං සාරිපුත්තො’ යන්නෙත් තථාගතයන් වහන්සේ වෙතින් ‘මහා ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානය’ හිමි වූ උතුමෙකි. උසස් කුලයක ධන සැරියුත් මහ රහතන් වහන්සේ වත් පවුලක උපන්, රූපයෙන් හා නුවණින් අගපත් කෙනකු වුව ද නිහතමානීකම මූර්තිමත් වූ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි; තමන් වහන්සේට ප්‍රථමයෙන් ම නිවන් සුව ලබාදුන් අස්සජි මහ රහතුන් වහන්සේට මුළු ජීවිතය තෙක් ම ගුරු භක්තිය දැක්වූ සේක. දිනක ගමනින් ගොස් ආපසු සිය අරමට ආ හැකි දුර පෙදෙසක වෙසේ නම් ඇදුරුතුමන් දැකීමට දිනපතා ම ගොස් වත් දක්වා එන සේක; සැතැපෙන කල ඇදුරුතුමන් වැඩ සිටින දෙසට හිස ලා ම සැතැපෙන සේක; ඇදුරු ගුණ සිහි කොට වැඳැලා ම නින්දට පිවිසෙන සේක.

තව ද එක් බත් සැන්දකින් තමන් වහන්සේට සංග්‍රහ කළ රාධ නම් දුප්පත් බමුණෙක් අතැවැසි භික්ෂුවක වශයෙන් පැවිදි උපසපන් කොට කමටහන් දියුණු කරවා රහත් බලයෙන් ලොවුතුරු නිවන් සුවය අත් කර දුන්හ.

නොදැනුවත් ව සැරියුත් හිමියන්ගේ සිවුරු කොනක් බිම ඇදෙනු දුටු සාමණේර භික්ෂුවක සැරියුත් හිමියන් අමතා ‘ස්වාමීනි ඔය සිවුරු කොන බිම ඇදෙනවා, එය ඔසවාගනු මැනැවැ’ යි කී කල්හි ‘සාමණේර උපදේශය මම ඉතා හොඳින් පිළිගනිමි’ යි පැවැසූ සැරියුත් හිමියෝ ‘වයසින් සත් හැවිරිදි සාමණේරයකු වුව ද මට දෙන උපදේශය මම සතුටින් පිළිගනිමි’ යි පැවැසීමෙන් සුවිනීත ගුණය ප්‍රකට කළහ.

එක් කලෙක මහ තෙරණුවෝ වස් පවරා අවසන් වී චාරිකා ගමනක් වඩිනු කැමැති ව ඒ සඳහා සතුටු භික්ෂූන් සංවිධානය කරන්නට වූ හ. ලාමක අදහස් ඇති එක්තරා භික්ෂුවක් ‘සැරියුත් තෙර මටත් කථා කළොත් මැනැවැ’ යි සිතමින් තමන් ඒ සඳහා ඉදිරිපත් නොවී සැරියුත් තෙරණුවන් ලවා ආරාධනා කරවාගන්නා අදහසින් එහා මෙහා හැසිරෙන්න විය. එහෙත් ඒ භික්ෂුව ගැන සැරියුත් තෙරණුවෝ සඳහන් නොකළහ. මහ තෙරහු නම් කළ භික්ෂූන් පිරි වරා ගමනාරම්භ කළහ. තමන් ගමනට නොකැඳැවීම නිසා කෝපයට පත් භික්ෂුව මහ තෙරණුවන්ගේ දොසක් සොයන අයුරින් පිරිස අතර හැසිරෙන කල්හි මහ තෙරුන්ගේ සඟළ සිවුරේ කොනක් ඒ ලාමක භික්ෂුවගේ සිරුරෙහි වැදිණ. ‘මට මෙය ප්‍රමාණ ය’ යි සිතාගත් ලාමක භික්ෂුව සම්බුදුන් කරා එළැඹ “ස්වාමීනි, සැරියුත් තෙර මගේ ඇඟේ හැපී මගෙන් ඒ සඳහා සමාව නොගෙන චාරිකාවෙහි ගියහ” යි චෝදනා කළේ ය. සැරියුත් තෙරුන්ගේ නිවරද බව දැනත් සම්බුදුහු අනඳ හිමියන් ලවා සැරියුත් තෙරුන් කැඳවා “සාරිපුත්තය, තොපට චෝදනාවක් එල්ල වී තිබේ. එයට පිළිතුරු දිය යුතු ය” යි නියම කළහ.

එවිට මහ තෙරහු “ස්වාමීනි, මම කිසිවකුට කිසිත් වරදක් දැනුවත් ව නොකරමි. පිරිසිදු අපිරිසිදු සියලු දෙය ඉවසන මහ පොළොව මෙන් ද; ජලය හා වාතය මෙන් ද කසළ ශෝධක සැඬොලකු හා අං සිඳුණ ගවයකු මෙන් ද සියලු වැරැදි ඉවසමින් කෙනකුට වරදකුදු නොකරමි. මේ සිරුර ගැරැඩි කුණක් ලෙසින් සලකමි. අවටින් තෙල් උතුරා හැලෙන මේද තෙල් සැළියක ලෙසින් නව දොරින් කුණු වැගිරෙන මේ සිරුර මා පරිහරණය කරන්නේ ද ඇල්මක් ඇති ව නො වේ. එබඳු මගෙන් නොදැනුවත් ම මිස දැනුවත් ව වරදක් සිදු විය නොහැක්කැ” යි සම්බුදුන් හමුවේ තමන් වහන්සේගේ නිදොස් බව පළ කළහ. චෝදක භික්ෂුව මහ තෙරුන්ගේ මේ කථාවෙන් සංවේගයට පැමිණ ‘නිදොස් වූ තෙරුන් වහන්සේට අස්ථාන චෝදනා නැඟීම නිසා මගේ හිස සත්කඩක් ව පැළෙනු ඇතැ’ යි බියට පැමිණ මහතෙරුන් වැඳ සමාව ඉල්ලී ය.

අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතුන් වහන්සේගේ කීර්තිය භාරතයේ ජනතාව අතර පැතිර යෑමට උන්වහන්සේගේ ඉවසීමේ ගුණය මහත් සේ බලපෑ බව අප කවුරුත් දන්නා කරුණක්. බුදුරජාණන් වහන්සේ නොයෙක් වර සැරියුත් තෙරුණුවන්ගේ ඉවසීමේ ගුණය ප්‍රශංසාවට බඳුන් කළා. බුද්ධ ශ්‍රාවකයන් සමඟ නොයෙකුත් වාද විවාදවලට එළැඹී අයටත් ගැටුමට පැමිණි පිරිසටත් සැරියුත් මහ රහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය මහත් හිරිහැරයක් වුණා. එය නැති ගුණයක් මවාපෑමක් යැයි ඔවුන් අතර මතයක්ද පැවැතුණා.

මේ නිසා එක්තරා බමුණකු සැරියුත් හිමියන්ගේ ඉවසීමේ ගුණයක් නැති බවටත් තමාට එය ඔප්පු කර පෙන්විය හැකි බවටත් කටමැත දොඩන්නට පටන් ගත්තා. බමුණා දිනක් සැරියුත් මහරහතන් වහන්සේ පිඬු සිඟා වඩිද්දී පසු පසින් ගොස් උන්වහන්සේගේ පිටට තදින් පහරක් දුන්නා. ඒ ගැන කිසිදු තැකීමක් නොකළ තෙරුණුවෝ නිහඬවම පිණ්ඩපාතයේ වැඩියා. මෙයින් බමුණාට දැඩි කම්පනයක් හට ගත්තා.

මේ තරමට ඉවසන පුද්ගලයකු මා දැක නැහැ’ කම්පනයෙන්ම සැරියුත් හිමියන්ගේ දෙපා මුල වැඳ වැටුණු බමුණා තමා කළ වරදට සමාව අයැද සිටියා. බමුණාට සමාව දුන් සැරියුත් මහ රහතන් වහන්සේ ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ යළි උන් වහන්සේ අභියස බැගෑපත් වූ බමුණා කියා සිටියේ තමාගේ නිවෙසට වැඩම කර දානය වැළැදුවහොත් සමාව දුන් බවට තමාට පිළිගැනීමක් ඇතිවන බවයි. සැරියුත් මහ රහතන් වහන්සේ බමුණාගේ නිවෙසට වැඩම කර බමුණා පිළිගැන්වූ දානය වළදා පාත්‍රය බමුණා අතට දුන්නා. බමුණා පාත්‍රය අතින් ගෙන සැරියුත් මහ රහතන් වහන්සේ පසු පසින් ගමන් කළා.

සැරියුත් තෙරුණුවන්ට බමුණා පහර දුන් සිද්ධිය සැලවී දඬු මුගුරු රැගත් පිරිස් බමුණාට පහර දීමට මේ අතර පැමිණෙමින් සිටියා. හිමියන් බමුණාගේ ගෙදරින් දන් වළඳා බමුණා සමඟ පැමිණෙනු මේ අය දුටුවා.

ඔබ වහන්සේගේ පාත්‍රය අතට ගනු මැනැවි. බමුණා කළ වරදට අපි දඬුවම් කරන්නෙමු’ ‘බමුණා පහර දුන්නේ මටද නැත්නම් ඔබ සැමටද?”

ඔබ වහන්සේටයි”

මා ඔහුට සමාව දී අවසානයි” සැරියුත් මහරහතන් වහන්සේ එසේ පිළිතුර දුන්නා.

පැමිණී පිරිස සැරියුත් මහ රහතන් වහන්සේගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවුණත් උන්වහන්සේ අභිබවා යෑමට නොහැකි හෙයින් බුදුරජාණන් වහන්සේට සිද්ධිය සැල කළා. සැරියුත් මහරහතන් වහන්සේගේ ඉවසීමේ ගුණය වර්ණනා කළ බුදුරජාණන් වහන්සේ සියල්ලන් විසින්ම ඉවසීමේ ගුණාංගය ප්‍රගුණ කරනු ලැබීම මහත්සේ වටිනා බව දේශනා කළා.

පුහුදුන් මිනිසා ‘තත්ත්වයක්’ ලැබෙන්න ලැබෙන්න උදම් වේ. ධනය, කුලය, පිරිස් පාලන බලය යනාදි ලෞකික බලයෙන් යුක්ත වූවෝ සුළඟින් පිම්බෙන බෝල මෙන් පිම්බෙති. තථාගත ශ්‍රාවක ආර්ය උත්තමයෝ අධ්‍යාත්ම ගුණයෙන් දියුණු වන්න වන්න නිහතමානී වෙති; නිහඬ වෙති; ස්වභාව ධර්මය පවා අභිභවනය කිරීමේ ආධ්‍යාත්ම බලයකින් යුක්ත වෙති. ගුණයෙන් සාර වූ සාරිපුත්ත හිමියෝ එවැනි ශ්‍රේෂ්ඨයෙක් වූ හ.

එක් කාලයක මුගලන් හිමියන් හා විවේකී

සුවයෙන් කොබෝ කදුකරයෙහි වැඩ සිටි සැරියුත් හිමියන් වහන්සේ සද එළිය ඇති සුන්දර රාත්‍රියක ගල් තලාවක් මත සමාධි සුවයෙන් වැඩ සිටියා. එදා උන්වහන්සේ හිස මුඩු කරපු දවසක් නිසා සද එළියට හිස දිලිසුනා. උතුරු දිසාවෙන් දකුණු දිසාවට වැඩම කල යක්ෂ යාලුවෝ දෙනෙක් සැරියුත් හිමියන්ගේ දිලිසෙන හිස දැක්කා. නන්ද නම් යක්ෂයා තමන්ගෙ යාලුවගෙ කීම අහන්නේ නැතිව සැරියුත් හිමියන්ගේ හිසට අත මිට මොළවා දැඩි පහරක් එල්ල කලා. ඒ පහර කොතරම් බලවත්ද කියනව නම් එය වැදුනා නම් මහා ගල් පර්වතයක් පවා දෙබෑවෙන තරමේ පහරක්, ඒත් ඉවසීමේ ගුණ ඇති සැරියුත් හිමියන් නම්  මහා පුරුෂයාණන්  ඒ පහර නොදැනුන ගානට ඉවසා සිටියා. මේ ස්ථානයට පැමිනි මුගලන් හිමියන් පවා ඒ ඉවසීම ගැන පුදුම උනා. එම අවස්ථාවෙ දි එතනට ආලෝක ධාරාවක් විහිදවමින් පැමිණි බුදුපියාණත්වහන්සේ සැරියුත් හිමියන්ගේ ඉවසීමේ ගුණය වර්ණනා කළේ ය..

🌷 තුන් ලොවම කම්පා කරමින් ඒ මහා ප්‍රඥා  පහන් ආලොකය නිවි යයි.

බුද්ධත්වයෙන් හතළිස්‌පස්‌වැනි වස්‌ කාලය හෙවත් බුදුන් වහන්සේගේ අන්තිම වස්‌ කාලය බේලුව ගමෙහි වස්‌ වැස වස්‌ පවාරණය කිරීමෙන් පසු උන්වහන්සේ වැඩම කළේ සැවත්නුවර ඡේතවනාරාමයට ය. මේ කාලය අතරතුර ධර්ම සේනාධිපති හා ප්‍රඥාවන්ත භික්‍ෂුන් අතරින් අග තනතුර ලැබූ අග්‍ර්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේට යම් විතර්කයක්‌ (අදහසක්‌) පහළ විය. පළමුවෙන් පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ ද, නැතහොත් අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනමදැයි යන අදහසයි. මෙහිදී අග්‍රශ්‍රාවකයන් වහන්සේ දෙනම ප්‍රථමයෙන් පිරිනිවන් පානා බව උන්වහන්සේ අවබෝධ කරගත්හ. ඉන්පසු තමන් වහන්සේම තව කොපමණ කළක්‌ ආයුෂ ඇතිදැයි බලනුයේ තව සතියක්‌ පමණක්‌ ආයුෂ තිබෙන බව දැන ගත්හ.

ඒ බව දැනගත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්‌කාර කර පිරිනිවන් පෑමට අවසර පැතූහ. මෙතෙක්‌ තෙරුවන් කෙරෙහි නොපැහැදී සිටින මහා බ්‍රහ්මයා කෙරෙහි පමණක්‌ විශ්වාසය තබා සිටින තම මවට ධර්මය දේශනාකර එතුමිය මඟඵලවලට යොමු කිරීමට අදහස්‌ කර ඇති බැවින් මවගේ නිවසට වැඩමකර පිරිනිවන් පෑමට ද අවසර පැතූහ. බුදුන් වහන්සේ එම අවසරය ලබා දුන්හ.

ඉන්පසු සැරියුත් මහරහතන් වහන්සේ බුදුන් වහන්සේට අවසාන වැඳීම සිදුකර බුදුන් වහන්සේගේ ඉල්ලීම පරිදි රැස්‌ව සිටි භික්‍ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කර ප්‍රාතිහාර්ය දක්‌වා ඡේතවනාරාමයෙන් සමුගෙන පිටත් වූහ. අනතුරුව සත්දිනක්‌ තිස්‌සේ පා ගමනින් තම මවුතුමියගේ නිවසට වැඩම කරනුයේ අතරමඟදී හමු වූ ජනයා කෙරෙහි කරුණාවෙන් ධර්මය දේශනා කරමින් සත්වැනි දිනය යෙදී තිබූ ඉල් පුර පසළොස්‌වක පොහොය දින සවස්‌ භාගයේ නාලක ගමට වැඩියහ. සැරියුත් හිමියන්ගේ මවුතුමිය වන සාරි බැමිණිය තම පුතුගේ පැමිණීමෙන් ඉතා සතුටට පත්ව ඉතා ආදරයෙන් පිළිගෙන ගිහිකළ උන්වහන්සේ විසූ කාමරය සකස්‌ කර අවශ්‍ය පහසුකම් සලසා දුනි.

 මේ අතරතුර බුදුන් වහන්සෙගේ අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සැරියුත් මහ රහතන් වහන්සේ නාලක ගම තම මෑණියන්ගේ නිවසේදී අද රාත්‍රි පිරිනිවන් පාන්නේය යන ආරංචිය සදෙව් ලොව හා බ්‍රහ්ම ලෝකවලද ක්‍ෂණයෙන් පැතිර ගියහ. ඒ අනුව දෙවියන් හා බ්‍රාහ්මයින් වරින්වර පැමිණ උන්වහන්සේට ඇප උපස්‌ථාන කර වන්දනා කර පිටත්ව ගියහ. මේ ආලෝක ධාරාවන් විහිදුවාගෙන වරින්වර පැමිණෙන පිරිස්‌ දැක සාරි බැමිණිය මහත් පුදුමයට පත්ව ඒ ගැන සැරියුත් හිමියන්ගෙන් විමසුවාය. ඒ ආලෝක ධාරාවන් විහිදුවාගෙන පැමිණෙන්නේ දෙවියන් බව මවට විස්‌තර කර දුන්හ.

 වරක්‌ දීප්තිමත් ආලෝක ධාරාවන් හතරක්‌ විහිදුවාගෙන පැමිණියේ කවුරුන්දැයි විමසූ විට ඒ සතර වරම් දෙව්රදුන් බවත්, ඉන්පසු ඊටත් වඩා දීප්තිමත් අලෝක ධාරාවක්‌ විහිදුවාගෙන පැමිණියේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේJද්‍රයා බවත් මෑණියන්ට පැවැසූහ. සක්‌ දෙවිඳුන් සැරියුත් මහ රහතන් වහන්සේට ඇප උපස්‌ථානකර වන්දනා කර ආපසු වඩිත්ම පැමිණියේ මවුතුමිය අදහන, ගරු කරන වන්දනාමාන කරන මහා බ්‍රහ්මයා බව පවසත්ම සාරි පැමිණිය ඉමහත් පුදුමයට පත් වූවාය.

අනේ මම දිනපතා වැඳුම් පිදුම් කරන අදහන මහා බ්‍රහ්ම රාජයාණන් මගේ පුතාට වඳිනවා නම් බුදුන් වහන්සේ කොතරම් ගෞරවයක්‌, සැලකිල්ලක්‌ දක්‌වනවා ඇත්දැයි සාරි බැමිණියට සිතුවිල්ලක්‌ පහළ වී තමන් මෙතෙක්‌ කලක්‌ මුළා වී සිටි බව මෙනෙහි කළාය. ඇයගේ සිතුවිල්ල දැනගත් සැරියුත් මහ රහතන් වහන්සේ එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන බුදුගුණ වර්ණනා කළහ. එතුමිය එයට නිසොල්මන්ව වැඳගෙන අසා සිටියෙන් නව අරහාදී බුදුගුණ හා අනන්ත තෙරුවන් ගුණ වර්ණනා කරමින් මැණියන්ට ධර්මය දේශනා කළහ. ඒ කෙරෙහි සිත පහදවා ගත් සාරි බැමිණිය සෝවාන් ඵලයට පත් වූවාය. මෙතෙක්‌ මිසදිටුව සිටි තම මෑණියන් සමිදිටු බවට පත් වූ බව අවබෝධ කර ගත් සැරියුත් මහ රහතන් වහන්සේ තමන් ඇතිදැඩි කළ, පෝෂණය කළ තම මෑණියන්ට කිරි ණය ගෙවූයේ යෑයි සතුටට පත්ව මහපොළොව කම්පා කරවමින් සදෙව් ලොව දෙවියන් හා බ්‍රහ්මයන් සංවේගයට පත් කරවමින් ඉල් පුර පසළොස්‌වක පොහෝදා පිරිනිවන් පා වදාළහ.

 අනතුරුව බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරවා ධාතූන් වහන්සේ රැගෙන චෛත්‍යයක්‌ ඉදිකළහ.

උන්වහන්සේගේ තුල තිබු මහා ගුණයන්ගෙන් බිඳක් හෝ තමාතුල ඇති කර ගැනිමට සියලු දෙනා වීරිය කරත්වා....! අපිට උන්වහන්සේ වෙනුවෙන් කල හැකි ලොකුම පුජොපහාරය එයයි..

No comments:

Post a Comment