සඤ්ජීව නරකය, කාල සූත්‍ර‍ නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍ර‍තාප නරකය, අවීචි මහා නරකය යි මහා නරක අටකි. ඒවා සතරැස් ය. එක් මහා නරකයක එක් පසකින් සතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝ ද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොළොසෙකි.

01) සඤ්ජීව නරකය

යමපලුන් විසින් එහි උපන් සත්ත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්ත්වයන් නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සඤ්ජීව නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝලාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද, දිළින්දන් පෙලූ පොහොසතුන් හා මැරයෝ ද, සතුන් මරන්නෝ ද සඤ්ජීවයෙහි උපදිති.

02) කාලසූත්‍ර‍ නරකය

උපන් සත්ත්වයන් ගිනියම් වූ යපොළොවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාලසූත්‍ර‍ නරකය ය. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළාහු එහි පැසෙති.

03) සඞ්ඝාත නරකය

මේ නරකයෙහි සත්ත්වයෝ නවයොදුන් ඝන යපොළොවෙහි එරී නිශ්චල ව සිටිති. එහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඬ නංවමින්් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරළෙති. ඒවාට යටවී සත්ත්වයෝ සුණු විසුණු වෙති. ඇත් අස් ගවාදී සතුන්ට වද දෙමින් වැඩ ගත්තෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

04) රෞරව නරකය

මේ නරකයෙහි සත්ත්වයන්ගේ සිරුරු තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත්තේ ය. ඇතුළත පිටත දෙක ම දවනු ලැබීමෙන් හඬන නිරි සතුන්ගේ හඬ නිරතුරු ව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකය යි කියනු ලැබේ.

05) මහා රෞරව නරකය

අතිශයින් රෞද්‍ර‍ වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්ත්වයන්ගේ නිරතුරු පවත්නා මහ හඬ ඇති නිසා ද, නිරිසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකයට මහා රෞරව නරකය යි කියනු ලැබේ. තුනුරුවන් අයත් වූ ද මාපියන් අයත් වූ ද වස්තුව පැහැර ගත්තෝ ද විනාශ කළෝ ද එහි උපදිති.

06) තාප නරකය

මේ නරකයෙහි යමපලුන් විසින් ගිනියම් වූ යපොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණා තබනු ලැබූ සත්ත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන්ගේ ගෙවල් ගිනි තැබූවෝ ද එහි උපදිති.

07) ප්‍ර‍තාප නරකය

මෙහි ද තාප නරකයෙහි නිරිසතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්ත්වයෝ පැසෙති. මහා තාපන යනු ද මේ නරකයට නමෙකි. මරණින් මතු ඉපදීමක් නැත යයි මිථ්‍යාදෘෂ්ටි ගෙන පව්කම් කළ අය එහි උපදිති.

08) මහා අවීචි  නරකය

මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනික් බිත්තිය දක්වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේ ය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා බස්නේය. සත්ත්වයෝ නිතර ම සදිසාවෙන් එන ඒ ගිනි දැල්වලින් වෙළී දැවෙන්නෝ ය. අතරක් නැති ව එහි සත්ත්වයෝ ද වෙසෙති. ගිනි දැල්වලින් හා දුක්වලින් ද සත්ත්වයන්ගේ ද අතරක් නැති බැවින් ඒ නරකය අවීචි නම් වේ.

පඤ්චානන්තර්‍ය්‍ය කර්ම කළෝ ද බෝසතුන් නැසුවෝ ද ගුණවතුන් නැසුවෝ ද චෛත්‍ය බින්දෝ ද පිළිම බින්දෝ ද බෝරුක් නැසුවෝ ද රත්නත්‍ර‍ය අයත් වස්තුව පැහැර ගතුවෝ ද මිත්‍ර‍ ද්‍රෝහීහු ද භාර්යාවන්ට අපරාධ කළෝ ද බොරු කීවෝ ද සුරාපානය කළෝ ද මිසදිටු ගතුවෝ ද එහි උපදිති.

තෙරුවන් සරණයි ..

 

Comments

Popular posts from this blog

BIRTH OF A BUDDHA - A BLESSING TO THE UNIVERSE

භාරතයේ අනෝමා නදියෙන් ඉහළට ගිය සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයේ ධාතුව The relic of the bowl that Hermit Siddhartha , which went up stream of River Anoma in Bharath साधु सिद्धार्थ द्वारा रखे गए कटोरे का अवशेष, जो भारत में अनोमा नदी की धारा में ऊपर चला गया था